Pages

Add

Showing posts with label මගේ දරුවන්. Show all posts
Showing posts with label මගේ දරුවන්. Show all posts

Friday, April 8, 2016

මගේ දරුවන් මහ හොඳ එවුන්


කුරුල්ලො පැටවු හදනව
උන්...
කවල, පොවල,
ලොකුමහත් කරල,
පියාඹන්න උගන්නල,
මේ මහා විශාල
අහසක්, පොළොවක්, සහිත
ලෝකයට මුදා හරිනව.
උන් එහෙම කරන්නේ...
කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නොවෙයි.
ඒ සිතුවිල්ල මට ඇතිකලේ
මගේ දරුවන්, 
ඒ නිසා උන් මහ හොඳ එවුන්

දරු සෙනෙහසට කෑදර,
පසුව දරුසැලකිලි පතන
දෙමවුපියන් වනවාට වඩා...
මනුස්සකම් දන්නා
ලතෙත් දරුවන්
ලෝකයට මුදාහැර
සතුටුවන පියෙක් විම තරම්
තවත් භාග්‍යක් ඇත්ද?
ඒ සිතුවිල්ල මට ඇතිකලේ
මගේ දරුවන්,
ඒ නිසා උන් මහ හොඳ එවුන්.

උන්...
ලොකුමහත් වෙලා
ඇඟේ පච්ච කෙටුවට,
කරාබු දැම්මට,
කොන්ඩා මෝස්තර දැම්මට,
එක එක විලාසිතා කලාට,
මට රිදෙන්නේ නෑ.

මම
උන් තුලින්...
කවදාවත්
මම සොයන්නේ නෑ.
ඒ සිතුවිල්ල මට ඇතිකලේ
මගේ දරුවන්,
ඒ නිසා උන් මහ හොඳ එවුන්.



Search This Blog