Pages

Add

Sunday, December 25, 2016

තනිකමද ඔබ මිතුරෙකුය

                     මගේ මතකයේ හැටියට දෙදහස් හත (2007) අවුරුද්දේ සීතල දෙසැම්බර් මාසයේ එක්තරා දිනයකදී මා අපූරු භාව පූර්ණ  ගීතයක, ගීතමය අත්දැකිම ලැබුවා. එවකට මා සේවය කලේ ආසියානු ගුවන්විදුලි ජාලයේ. අපි කවුරුවත් නොහිතපු වෙලාවක, එක්තරා සිදුවීමක් නිසා මා සේවයකල ආයතනය හදිසියේ වසා දැමුන. කිසිම බරක් පතලක් නැති තනිකඩ ජීවිතයක් ගතකල මට රැකියාව අහිමිවීම ගැන මෙලෝ හසරක් නැතිවුනාට මා සමඟ සේවයකල බොහෝදෙනා හැඩූ කදුලින් යුතුව එදා ඒ ආයතනයෙන් සමුගත්ත.
                 
                         නමුත්, අපි
ඉංජිනේරු අංශය විදිහට ආයතනය වසාදැමීමෙන් අනතුරුවත්, වසරක්ම ගතවන තුරු සතියකට දින දෙකක්, එක් අයෙකු බැගින් දිවා-රාත්‍රී සේවා මුර දෙකක් ආයතනයේ රැදී සිටියා. සිය ගනනක් සේවයකල ආයතනයක තනිව කිසිම වැඩක් නැතිව රාත්‍රිය පහන්වනතුරු ගතකිරීම, මට ඉතාමත් කටුක අත්දැකීමක් වුනා. මීට මාස කිහිපයකට කලින් කොල්ලන්ගේ කෙල්ලන්ගේ කෙළි කවට සිනා වලින්, මුඛරි කතාවලින් සහ නොකඩවා වැයුනු ගීතවලින් පිරුණු  ශබ්දාගාර වල හා කාර්යබහුල කාර්යාල වල හාත්පස තිබුනේ කන් බිහිරි කරවන නිහඞතාවයක්. ආයතනය වසා දමල මාස ගනනක් ගතවුවත් ඇතැම් කාර්යාල අංශ ආයතනය වසාදමන අවස්ථාවේ තිබු ස්වභාවයෙන් එලෙසින්ම දක්නට ලැබුන. සමහර මේස මත අතරමඟදී නතර කොට එලෙසම තබාගොස් තිබු පිටපත් රචනා, නොනිමි පැබැදුම්, කෙට් සටහන් පොත් පෑන් පැන්සල් සහ පතුලේ මදක් ඉතිරිව වියලීගිය තේ කෝප්ප පවා දකින්න ලැබුන.  

එක්තරා දිනයක, මාගේ රාත්‍රී සේවාමුරයක (මම හිතන්නේ පාන්දර 2.00 විතර ඇති) කරන්නට කිසිම රාජකාරීයක් නොමැති නිසාත්, ඇහැ පියාගන්නට කොතෙකුත් උත්සාහ කලත් නින්ද අහලකටවත් නොපැමිණිනි නිසාත්, හුන් තැනින් නැඟිට නිශ්පාදන ශබ්දාගාරය(Production Studio) වෙත ගොස් එහි එක් පසෙක වූ සුවිසල් වීදුරු බිත්තියෙන් එපිට පෙනෙන කොළඹ නගරය නරඹන්න වුනා.
                   
                      කොටුව, ලෝක වෙළද මධ්‍යස්ථානයේ
35වෙනි මහලේ හිඳ පහල බැලූ කල මුළු කොළඹ නගරයත්, ගෝල් ‍ෆේස් පිටියත්, ඉන් ඔබ්බට තොරක් නැති මුහුදත් ලා සඳඑලියෙන් හොඳින් පෙනුන. ශබ්දාගාරයේ කොනක තිබු මේසය මත සී. ඩී. තැටි කිහිපයක් විසිරිලා තිබුන. ඉන් එකක කවරය සහිතවු බැවින් එය උඩින් පල්ලෙන් කියැවු මට, එය ඩබ්ලිවු. ඩී. අමරදේවයන්ගේ ගීත එකතුවක් වු නිසාවෙන්ම එහි වු ගී රසවිඳීමේ දැඩි දැඩි ආශාවක් ඇතිවුනා .  අසල වූ තැටි වාදන යන්ත්‍රයක එය රුවා වාදනය කර වීදුරු කවුළුව අසල වු පුටුවකට බරව ඉන් ඔබ්බෙන් වු ඉමක් තෙරක් නැති කොළඹ නගරය වෙත දෑස් රඳවා ගී අසන්නට වුනා.

                      එවකට, දැඩිව යුධ භීශණයෙන් වෙළුණු කොළඹ නගරයේ කිසිවෙකුත් නැති පාලු වීථි වල  කහ පැහැති වීථිලාම්පු වලින් ගලන ආලෝකය නිසා නගරය තවතවත් පාලුවෙහි ම ගිලෙයි. උදුවප් මාසයේ සිතල, අදුරු, අන් කාලවලට වඩා නිසොල්මන් මුහුද හදඑලියෙන් කැලතුනා. නගරයේ තැනින් තැන පාලු, උස්-මිටි ගොඩනැගිලි අදුරු සෙවනැලි අතර සැගවිලා. කල්පනා ලොවක නිමග්නව මේ දසුන් විදින අතරේ අහම්බෙන් වගේ සී. ඩී. තැටියෙ තිබුන ගීතයක් වාදනය වුනා. එය මා කළින් අසා ඇති ගීයක් වූ මුත් පෙර නොවිඳි රසයක් එහි ගැබ්වෙලා තිබුන.    එහි තිබුනෙ, උණුහුම් මවුබිමෙන් ගවු දහස් ගනනක් එතෙර හිම වරුසාවන් ඇදහැළෙන කටුක ශිතල දේශයක හුදෙකලාව වෙසෙන්නෙකු රාත්‍රියේ විඳින පාළුව, තනිකම සහ දුක් ගැහැට ගැන.
මට එදා ඒ පාළුව හොදින් දැනුන, රස වින්දා සමහරවිට ඔබටත් එහෙම දැනිල ඇති, අත්විඳල ඇති.

එදා ඉදන් මම කැමතිම ගීත ගොන්නට මේ ගීතයත් එක් වුනා.
ඔය ගොල්ලොත් හැමෝම මේක නැවත අහල බලන්න. තනිකමේ රසය තනිවම විදින්න කියල මම ආරාධනා කරනව.

ස්තූතියි...!


Search This Blog