Pages

Add

Saturday, January 28, 2017

අම්මා



මිනිස්සු බොහෝවිට රසවින්දනය කරන්නේ නැත්නම්, සංවේදී වන්නේ ඔහුගේම හෝ ඔහු පෙර අසා දැක ඇති ඔහු හෝ අය හඳුනන වෙනත් අයෙකුගේ අත්දැකීම් පිළිබඳ තමා තුල ඇති මතකය හාරා අවුස්සමින්. අතීතයේ එක් දිනෙක මා එවකට සේවයකල ආයතනයේ නිදිවර්ජිත වූත්, වෙහෙසකරවූත්, රාත්‍රී සේවා මුරය අවසන්කර හිමිදිරියේ නිවස බලා යාමට මහ මඟට බසිත්ම දුටු දසුන සමඟ මුසුව ආ මා හද සසලකල අතිසයින් භාව පූර්ණ අත්දැකීම ඔබ එක්ක බෙදාගන්න හිතුනා.
මේ ඒ, කාථාන්තරයයි. නිද්‍රාබරිත හිමිදිරියක්.., වෙහෙසකර රාත්‍රී සේවාමුරය අවසන් විමට නියමිතයි. නගරයේ පිහිටි උසින් වැඩිම ගොඩනැගිල්ලේ ඉහල මහලයක පිහිටි අපේ ප්‍රධාන පාලක මැදිරියේ විදුරු කවුලුවෙන් ගලන අළුයම් හිරුගේ රැස් මගේ නිදිමතදෑස තව තවත් වෙහෙසට පත්කරද්දී, නගරයේ බොහෝ දෙනෙකුට ප්‍රබෝධමත් උදෑසනක් උදාකරල. පහත පෙනෙන තෙක් මාන‍යේ වු බම්බලපිටිය මංසංන්ධිය කාර්යාල වෙත දුවන, බස්රථ වලට නගින්නට පොරකන, මඟීන් නිසා යුහුසුළුයි. මා හුන් කාර්යාලයේ මේසය මත තිබු දුරකථනය නාද වෙයි.. හලෝ.. කාර්යාල අසුනේ හරි බරි ගැසී හාන්සිවෙන අතරතුර මම ඊට ප්‍රතිචාර දැක්වූයෙමි. "කොහොමද ඊයේ රෑ. පොඩ්ඩක් හරි නිදාගන්න ලැබුනද?" දුරකතනයේ අනෙක් පසින් ඇසුනේ මගේ ප්‍රිය බිරිඳ ගේ කටහඩයි. " ඔයාට මහන්සිද ?" නැවතත් ඈ කරුණාබරිතව විමසුවාය" "හ්ම්ම්.... (සුසුමක්) වෙනසක් නෑ, වෙනද‍ා නයිට් ඩියුටිය වගේ තමයි. රෑ කඩ කෑම කාල නිදිමරල පොඩ්ඩක් බඩ දැවිල්ලයි වගේ." මා ඇය අස්වැසුවාය. "ආ... කවුද අද උදේ වැඩට එන්න ඉන්නේ මිලින්දද?, අමිලද?" මා තුල තිබූ නිදිමත වෙහෙස මඞින්නට මෙන් ඈ විමසුවාය.
"නෑ.... නවීන් තමයි ඩියුටි, මෙලහකටත් මඟ එනව ඇති." මගේ කෙටි පිළිතුරු විය. "හා... මම අර ඊයේ කිවුවේ., අපේ අම්මගෙ අසනීප ගතිය ටිකක් වැඩියි වගේ". "මට එයාව ටිකක් බලලා එන්න හිතුන". "මම ළමයි දෙන්නත් එක්ක උදෙන්ම කෑගල්ලට ගිහන් එන්නද?, ඔයාට දැන් ගෙදර ඇවිත් ආයෙ අනික්අතට කෑගල්‍ලේ යන එක වෙහෙසයිනේ ඒ හින්දා මම පොඩිදෙන්නත් එක්ක උදේන්ම ගිහින් රෑ වෙන්න කලින් එන්නම්." කාරුණික ස්වරයකින් ඈ ඇසුවාය. "අනේ මන්ද?"
"ඔයගොල්ලොන්ට ඒතරම් දුරක් තනියම යන්න පුළුවන්ද?" මම ඇසුවෙමි. "පුළුවන්"... " පොඩ්ඩව වඩාගෙන යන එක විතරයි අමාරු, ලොකු පුතාගෙන් දැන් ඒතරම් කරදරයක්නෑනේ." නැවත් ඈ ඇවිටිලි කලාය. "හා.. ඔයාට හොදයි කියල හිතෙන විදිහකට කරන්න." "හා... අපි එහෙනං ඉක්මනින් ගිහින් එන්නම්." ඇය ප්‍රතිචාර දැකිවූයේ ලද අවසරය ගැන ස්තූති වන්නාක් මෙනි "හා.. හොඳයි. එහෙනං ගිහින් එන්න" "මහත්තයා.... " "මහත්තයා.... හ්" ගැහැණියෙකගේ ආයාචනික ස්වරය මුසු හඩ ආ දෙසට මගේ දෑස නිතැතින්ම යොමුවුනි. ඒ බස්නැවතුම වෙත වැටුනු මාවතේ සුපිරි වෙළඳසැල්, අවන්හල්, සාප්පු සංකීර්ණ පසුකරමින් ඇවිද යන අතර කඩිමුඩියේ සේවයට යන මහජනතාව මැද නොඳරුවන් දෙනෙකු තම ඇකයේ හොවා වකුටු වී සිඟමන් යදින ගැහැණියකි. බහුතරයක්‍ දෙනා කාර්යාල සේවයට වාර්තා කීරීමේ අදිටනින් දිවයන අතර නගරය මධ්‍යයයේ වු සුපිරිම සාප්පු සංකීර්ණ වලින් එලියට බට කලබලයක් නැතිව හිමිදිරි පහස විදිමින් ඇවිදින කෙනෙක් දෙන්නෙක් කාසියක් ඇගේ කිලිටි කෝප්පය වෙත විසිකරයි. දරුවන්ට ඒ ගැන වගක් නැත. ඉරුණු වැරහැලි හැද මව් තුරුලේ හුන් ඔවුන් උදෑසන සීතලට අමනාපයෙන් ඇගේ ඇකයේ උනුහුමට තව තවත් ගුලි වෙති. එය ඔවුනට මහා සම්පතක් වැනි හැගිමක් ඔවුන් තුලින් දිස් විනි. මොහොතකට මගේ සිත ගල්ගැසිනි. එය අතිසයින් මා සිත මොහෙතකට සසල කල දසුනකි. මොවුන් නම් කවදා හොඳ කල දවසක් ලබත්ද? ඊ ලඟ මොහොතේ මට සිතුනි. ඇසිල්ලකින් ඔවුන්ගේ අදුරු දෙනෙත් තුලින් මගේ අඹු දරුවන්ගේ මුහුණු දුටිමි. ඔවුනද මොවුන්ද අතර ඇත්තේ ප්‍රාග්ධනය නැමති කෙස් ගසක පරතරයක්. මගේ දරුවන්ට මගේ බිරිඳ ලෝකයේ හොඳම මව වෙයි. මාවතේ සිඟන්නිය ඇගේ දරුවන්ට ලොවේ ඉන්නා හොඳම මවයි. මගේ බිරිඳට ඇගේ මව තරම් හොඳ මවක් තවත් නැත. මට මගේ අම්මා සංසාරේ පතාගෙන ආ උතුම්ම මවයි. තිරිසනුන්ටද එය එසේමයි. ඒ කියන්නේ කොයි මව වුවත් ඇය, ඇගේ දැරුවන්ට අති උත්තම චරිතයක්... මට සිතිනි. මිහි මඞළේ අඳුරු කුසේ, දිය උල්පත අම්මා... නන්දා මාලනියගේ ගීතය ඇසෙද්දී අදටත් මට ඒ මොහොත සිහිවේ

පිංතූර.
 Jade Beall

Search This Blog