ටී.වී,
රේඩියෝ වල පැරණි ටෙලි නාට්‍ය සහ ගීත නැවත විකාශය කිරිමේ නැඹුරුවක් මේ කාලයේ
දුටුවෙමි. ඒ අල්ලපනල්ලේ මමද රූපවාහිණියේ
විකාශය වු අසවැසියෝ සහ කන්දේ ගෙදර ටෙලි නාට්‍ය දෙක ඉඩ ලැබුනු අයුරින් නරඹා රස
වින්දෙමි. ඉන් මට බොහෝ දේ සිතුනි. ඒ, ඒ කාල වකවානු වලදී මා ගතකල මගේ අතීත ජීවිතය
සහ ඒකාලයේ ටෙලි නාට්‍යය වල නිරූපිත සමාජ වටපිටාව හා මගේ කුඩා පවුල අතර තිබු පරතරය
හා සම්භන්ධතාවයේ අතීත මතකය ගැන සහ අතිතය, මිනිසුන්ට මේතරම් මනබඳින්නා සුළු වන්නේ
ඇයිද යනවගයි.
එදා
ටෙලිවිශනයක් තිබුනේ ගමේ යමක් කමක් ඇති ගෙවල් කිහිපයක පමණි, ඒ තබා විදුලිය තිබුනේද
ගමේ ගෙවල් අතලොස්සකය. ඒකාලයේ අපි මේ රූපපෙට්ටියේ අයස්කාන්ත සංකර දේවල් නැරඹුවේ අර
කලින් කී, ටී.වී. ඇති ගෙවල් වලට බලෙන් රිංගා හෝ ජනේල වලින් එබිලාය. ඒ ගෙවල්වල අයද,
එය ඔවුන්ට මහත් නම්බුවක් ලෙස සැලකුවා වගේ එකක් ඒ දිනවල තිබුනි.
එදා ඒ බොහෝ
ටෙලිනාට්‍යයවල තිබු දේවල් අපට මාර හයි
පයි(ෆ)ය. ඒ කාලයේ අප විදී දුක්, අපේ ආර්ථික නොහැකියාවන්ගෙන් සඟවා තිබු හීන
ටෙලිවිශනයේ මනස්කාන්ත දර්ශණ අතරේ දියකර යටපත්කර ගතිමු. අපට ඒ කාලයේ
ඒ විදිහට එක එක දේවල් පෙන්වු ටෙලිවිශනය අද ද ඒ කාර්යය එලෙසම ඉටුකලත්, එදා ඒ
ටෙලිනාට්‍ය අද ටෙලිවිශනයේ නරඹන විට අපි අද දකින නිර්මාණ වලට වඩා සාරවත් බවක් සහ ඒ
කාලයේ මිනිසුන් (චරිත) තුල තිබු සංයමයේ සහ හැදියවේ වෙනස හොඳින් දනවයි.
මෙය මහා අවුලකි, එක්කෝ අපි එදා සිට අද දක්වා සංවර්ධනයේ නාමයෙන් ලබාගෙන ඇත්තේ පරිහානියකි, නැත්නම් අප සියලු දෙනා අතීතය මත නිරතුරුව ඇලී-ගැලී, වර්තමාණය අතීතය හා සසදා අද ලද දෙයින් නොසෑහී මානසික පීඩාවලින් යුතුව ජීවත්වන බවයි...