Pages

Add

Showing posts with label පොඩිඑකාගේ කතා. Show all posts
Showing posts with label පොඩිඑකාගේ කතා. Show all posts

Monday, March 21, 2016

දෙවියන්ව බලාගන්නා අංකල් ලා...





පේ මොන්ටෙසෝරි යන ලොකු ‍කොළුව අල්ලපු ගෙදර ඉන්න උගේ අතිජාත මිත්‍රයත් එක්ක බර කයිවාරුවක්, මට යාන්තමට කනිං කොනිං වගේ ඇහුන. මේ කාලේ හැදෙන පොඩිඑවුන්ගේ කල්කිරියාව ගැන අපි නොදන්නවා යැයි කියා උන් හිතාගෙන හිටියට  අපි ඒ ගැන හොදින් දන්න හන්දාත්, මොන්ටෙසෝරි යන වයසේ ඒවුන් වත් මේ කාලේ ෂුවර් නැති හන්දාත්, මම කර කර හිටිය වැඩේ ඒ විදිහටම කරන ගමන් හෙමිහිට පොඩිඑවුන්ගේ කතාවට කන් දුන්නා.

කොළුවො දෙන්නා එකතුවෙලා පොඩි සෙල්ලමක්.  මේක පන්සල් යන සෙල්ලමක්.

අල්ලපුගෙදර කොළුව    මලිලී අද අපි පන්සල් යන සෙල්ලමක් කරමුද?


අපේ කොළුව                 හා..

අල්ලපුගෙදර කොළුව    අපි පන්සලක් හදමු,   අර පුටුවෙ තමයි බුදු සාදු‍ ඉන්නේ.  අතන තමයි බෝධිය.
 ඔයා පැන් ගේන්න බෝධියට දාන්න.  මෙන්න මේව තමයි මල් (බිල්ඩින් ‍‍බ්ලොක්  කීහිපක් තැටියකට දමමින්) ඔන්න මම මල් වට්ටිය හැදුවා.

ඔන්න ඔය විදිහට කොල්ලො දෙන්නා බරටම සෙල්ලම
 මෙහෙම කරන සෙල්ලම් වලට ඉංගිරිසියෙන් කියන්නේ නං  pretend games කියල. සිංහල නමක්  නං තියෙනවද දන්නේ නෑ. 
හැබෑවටම නැති වුනත් යම් යම් දේවල් ඇත්තටම තියෙනවයි කියල හිතාගෙන බොරුවට කරන ව්‍යාජ සෙල්ලමක්.   අපි පොඩිකාලෙත් ඔය වගේ සෙල්ලම් කලා මතකයි ‍බොරුවට කඩවල් දැම්මා, ඉස්කෝල දැම්මා, බොරු වාහන එලවගෙන ගමන් යනව වගේ දේවල්.

හරි...  ආයෙත් පොඩිඑවුනගේ සෙල්ලමට යමු...

අල්ලපුගෙදර කොළුව    මල්ලී අපි දැන් පන්සල් යමු. ආ.. මෙන්න ඔයාට මල්..

 අපේ කොළුව               මම පැන් කලේකුත් ගත්තා යමු.. යමු..

ඔන්න  තෙල්, මල්, හදුන්කූරු අරගෙන දෙන්නා පන්සල් යනව, මල් පූජා කරනව, හදුන්කූරු පත්තුකරල පූජා කරනව, ගාථා කියනව, වැ‍ඩ ගොඩයි.

අපේ කොළුව                හා.....  දැන් ඔයා  මෙන්න මේව අරගෙන ඇවිත මට දෙන්න. (සෙල්ලම් බඩු කිහිපයක් අල්ලපුගෙදර කොළුවගේ අතට දුන්නා).

අල්ලපුගෙදර කොළුව     මේ මොනවද ?

අපේ කොළුව                මේ පලතුරු..,  මේව සල්ලි., දෙවියන්ට දෙන්න, අර පන්සලේ කාමරේක ඉන්නෙ.., ඔයා දන්නෙ නැද්ද?

අල්ලපුගෙදර කොළුව     දන්නව, දන්නව....   ඉන්න මම එයාට දෙන්නං

අපේ කොළුව                නෑ..  නෑ..  මට දෙන්න මම තමයි දෙවියොන්ට ඒව දෙන්නෙ.,  මම තමයි පන්සලේ දෙවියො බලාගන්න අංකල්
                                    එයා එක්ක තමයි දෙවියො යාළු...

ඕං ඕකයි කතන්දරේ දැන් දෙවියන් ව බලාගන්නත් අංකල්ලා ඉන්නව හොදේ...


Saturday, February 13, 2016

දතේ පනුවා



මේකත් අපේ ලොකු කොළුවගේ හිතේ ඇතිවුනු උභතෝකොටික පුරස්නයක් සම්භන්ධයෙන් ඇතිවුන කතන්දරයක්..
ඕං එක දවසක් අපේ ලොකු කොලුවගේ මොන්ටෙසෝරි යුනිවෑර් සිටි එකේන් පයින්ඩයක් එවාල තිබුන ඊලඟ දවසේ උදේ දන්ත වෛද්‍ය සායනයක් තියනවය, ඒ කෙදි පොඩි එවුන්ගේ දත්-සැට් එක පරීක්සා කොරල, පොඩි කාලේ ඉදන්ම දත් කූට්ටම ආරක්සා කොරගන්න විදිහත් කියලා දෙනවැය කියල. ඕං ඔකට මහ එවුන්දෙන්නගෙන් එකෙක් හරි එන්නම ඕනෑය කියලත් තිබුනා නෙවැ.
ඉතිං ඕං ඊලග දවසේ  උදේ මං, කොළුවත් එක්ක මොන්ටෙසෝරියට ගියා.
අනෙ අම්මේ.. එතන ගිනිවිජ්ජුම්බරයයි..!

ඉස්පීකර් දාල, පොජෙක්ටර් දාල, ලැප් ටොපුත් දාල. ටයි කෝට් දාපු මහත්තුරු, නෝනල පොදියක් ගජරාමෙට වැඩ.
ඕං ඉතින් දත් දොස්තර නෝනා කෙනෙක් වැඩේ පටන්ගත්ත.
දොස්තර නෝනා
:-ආයුබෝවන් දූල, පුතාලා...!
අද අපි කතා කරන්නේ කට ගැන.
හා...මොනවද කියන්න බලන්නකෝ කටින් කරනදේවල්...?
බත් කනවා..., ටොපී කනවා..., වතුර බොනවා පොඩි එවන් දෙතුන් දෙන්නෙක් උත්තර දුන්න.
දොස්තර නෝනා
:-බොහෝම හෙඳයි...!
තව මොනවද කටින් කරන වැඩ?
පොඩි එවුන්
:- පාන් කනවා..., බැලුන් බෝල පුම්බනවා.., අයිස්ක්‍රීම් කනවා..
දොස්තර නෝනා
:-ආ හොඳයි හොඳයි, ඇයි අපි හිනාවෙන්නෙත් කටින් නේද?
පොඩි එවුන්
:- ඔවු..වූ.....
දොස්තර නෝනා
:-හොඳයි දැන්..මට කියන්න බලන්න මේ පින්තූර දෙකෙන් ලස්සනම හිනාව තියෙන්නේ කාටද කියල. දොස්තර නෝනා හොද දත් සැට් එකකුයි  හා දිරාගිය දත් සැට් එකකයි පින්තූර තිරයේ දාල පෙන්වමින් ඇහුව.
අරක... අරක.. පොඩි එවුන් හොද දත් සැට් එක පෙන්න පෙන්නා කෑගහනව.
දොස්තර නෝනා
:-ආ.. බොහොම හොඳයි..  එතකොට අනික් එක්කෙනාගෙ දත්වලට මොකද වෙලා තියෙන්නෙ.
පොඩි එවුන්
:-පනුවො කාලා..ආ...
දොස්තර නෝනා
:- ආ හරියට හරි...
ඇයි එයාගේ දත් පනුවො කාල තියෙන්නේ?
පොඩි එවුන්
:-දන්නෑ.ඈ..
දොස්තර නෝනා
:- ආ... එයාගෙ දත් පනුවො කාල තියෙන්නේ... එයා එක එක කෑම ජාති හැම තිස්සෙම කාල හරියට දත් මැද්දේ නැති නිසා.
මේ බලන්නකෝ.. අපි එක එක කෑම ජාති කනකොට ඒ කෑම කෑලි දත් අස්සේ රැදෙනවා (දොස්තර නෝනා පිංතූරයක් පෙන්වමින්)
ඉතින් ඊට පස්සේ දත් අස්සේ ඉතුරුවෙන කෑම කෑලි කන්න කටේ ඉන්න පනුවෝ එනවා. අපි මේ අයට කියන්නනේ බැක්ටීරියා කියල.
ඉතින් මේ පනුවෝ දත් අස්සේ තියෙන කෑම කෑලි කාල, දත් අස්සෙම කක්ක දානව. ඊට පස්සේ අපි එගෙල්ලෙන්ගෙ කක්ක කටේ තියාගෙන දත්මදින්නේ නැතුව හිටියොත්, අපේ දත්ටික නරක් වෙලා කැඩිල යනව..
ඔන්න ඔය විදිහට බොහොම අපූරුවට දත් දොස්තර නෝන  දත් පනුවගේ සිද්දිය විස්තර ‍කොලා

මේ අතරෙ....
තාත්තෙ.. තතේතෙ...
අපේ කොළුව මට ඇගිල්ලෙන් අනිනව..
මුගේ කල්කිරියාව හෙඳට දන්න මට වැඩේ තේරුනා. ඔහොම අනින්නේ මුට මොකක් නමුත් ලොකූ ගැටළුවක් මතුවෙලා.  අර පිරිස මැද්දේ ඕක දොස්තර නෝනගෙන් අහන්ට බැරුවයි ඉන්නෙ කියල.
මොකෑ මයෙ පුතේ මම ඇහුව...
තාත්තේ.. තාත්තේ... දැන් අපේ දත්වල අස්සේ කැම කෑලි හිරවුනහම, ඒව කන්න කටේ ඉන්න පනුවෝ එනවනෙ..
ඔවු ඔවු .... හරියට හරි...   කොල්ලට හොඳ මතකයක් තියෙනවනෙ මට හතුන.
ඉතිං ඒ පනුවො ඇවිල්ල දත් අස්සෙ තියෙන කෑම කෑලි කනවනෙ.
ආ.. ඔවු.. ඔවු.. පුතා සේරම ටික හොදට ඉගෙනගෙන නෙ... මම ඌව මුරුංගා අත්තේ තිබ්බ.
එතකොට තාත්තේ අපේ කටේ තියෙන කෑම කෑලි කන පනුවගෙ කටේ තියෙන දත් වලට මොකද වෙන්නෙ...?
ඒ පනුවගේ කටේ දත් ටිකත් පනුවො කනවද?


දීපංකො උත්තර
..


පිංතූර Google images

Thursday, January 21, 2016

තොප්පි දාගන්නේ නැතුවම දිනන්න




පහුගිය අවුරුද්දේ ලෝක ළමා දිනයැයි කියල එකකට මගේ පොඩ් එකාගේ මොන්ටිසෝරියෙන් ඌව එක්කගෙන ගියා ඔය පොඩිඑවුන්ට පිස්සු නටන්නැයි කියල හදල, අපේ තුට්ටුදෙක සූරගෙන කන මොකක්ද මන්ද පැරඩයියොස්(
Paradise) එකකට.  ඒ කල්ල එතන පොඩි එවුන්ට සංගීතයට තොප්පි දාගන්න තරඟයක් තිබුන.
 අපේ එකා ඉතින් ඔය අහක යන තොප්පි දාගන්න බොහෝම අකමැති නිසා උගේ
පන්තියේ ටීචෑර්(Teacher) ගේයි, මගයි පෙරැත්ත කිරිල්ලටයි, පොඩිතෑග්ගක් දෙනවැයි කිවුවටයි ගොහින් තරඟයේ ළමයින්ගේ රවුමට එකතු වුනා
ඉතින් ඔන්න තරඟයේ නීති රීතී එහෙම හොඳට අහගෙන කාරිය සිංදුවක් එහෙම දාල තරගය ඉස්ටාට්(
Start) කොලයි කියහංකො
සෝමේ මාමා..ආ........
සෝමේ මාමා.. ආ...................
සෝමේ මාම
අන්න නැන්ද රවනවා...
මාමා බීලා..ආ.....
මාමා බීල...
මාමා බිල, මෙතන පිස්සු නටනවා....

පොඩි එවුන් ගිනිකසේට තොප්පි මාරු කොරගෙන කොරගෙන ගෙහුං ඔන්න ඉතිං අපේ එකාගේ වාරේ ආවා.
හුටා..! මේකා තොප්පිය දාගත්තු ගමන්ම ඉන්නව, උගේ එහා පැත්තෙ ඉන්න පොඩි එකී අපේ එකාගේ තොප්පිය බලෙන්ම ගන්න හදනව.
අපේ එකා නොවෙයි තොප්පිය ගලවන්නෙ.
අහල පහල එවුන්
පාස්කරන්න..., පාස් කරන්න.... කියල කෑ ගහනව.
කොහොමින් හරි මු සංගීතය නවත්වනකල් ම තොප්පිය ගැලෙවුවෙ නෑ.
ආ....  දැන් ඔය පුතා යන්න..
මෙන්න ඔයාට තෑග්ගක්....   කියල, තරගය විනිශ්චය කරන බුවෙක් ඇවිල්ල පොඩි තෑග්ගකුත් ඌට දීල, ඌව මා ගාවට එවුව.
ඒ, එන අතරෙ තරඟය ආයෙත් ඉස්ටාට්(
Start) කොලා
අපේ එකා මා ගාවට දුවගෙන ඇවිත්
, මට මෙහම කිවුව.
තාත්තෙ..! තාත්තෙ..! බලන්නකො මම තරගය එකපාරින්ම දිනුව, අනික් අය තාම තොප්පි දානව... නේද?

Search This Blog