Pages

Add

Saturday, July 12, 2025

දැන් ඉතින් වෙන කුමක් කරන්න ද?


ළමයි දෙන්නෙකුයි බිරිදයි එක්ක බොහොම අග හිඟකම් මැද්දේ අරපිරිමැස්මෙන් ජීවත්වුනු තාත්තා කෙනෙක් අවුරුදු පහලොවක් විතර කුලී ගෙවල්වල ඉදල ඉදල, අන්තිමේ කොහොමහරි තමන්ටම කියල ගෙයක් හදාගන්න ඕනි කියල තමන්ගේ සිහින මාලිගාව හදන්න මුල්ගල් තිබ්බ.
ආසාවට වැඩේ පටන් ගත්තට ඒක නිම කරන්නේ කොහොමද කිය හරි අදහසක් ඒ තාත්තට තිබුනේ නෑ. ඔන්න කාලයක් තිස්සේ සල්ලි ටිකක් එකතුකරගෙන ෆවුන්ඩේශන් එකෙන් කොටසක් හදනව. ආයෙත් කාලයක් බලාගෙන ඉදලා ඊලඟ කොටස. ආයෙත් කාලෙකට පස්සේ කාමර දෙකකට ගල් බඳිනව. වහලයට මොනවාහරි හෙවිල්ලාගෙන ඒ කාමර දෙකේ පදිංචි වෙනව, ගෙවල් කුලී.ගගෙවපු සල්ලි ටිකක් ඉතරු කරගෙන ගෙදර ඉදිරි.වැඩ ටිකක් කරගන්න බලාපොරොත්තුවෙන්.
මේ අතරට නොයෙක් ආකාරයේ ආපදා, විපත් සහ රෝග ව්‍යාධි. තාත්තගේ සිහින නිවස සෑදීමේ අරමුණ කොතෙක්ද කියනව නං මුළු පවුලම දැන් වැඩකරන්නේ ඒ හීනය වෙනුවෙන්. කොටින්ම පුංචි දරුවන් පවා බාල්දි වලට පස්, සිමෙන්ති පුරවාගෙන අදිනවා ගෙදර වැඩට. 
ඔය විදිහට අවුරුදු විස්සක් විතර තිස්සේ හැදෙන මේ සිහින ගෙදර  සම්පූර්ණයෙන් නිම කරන්න කලින් තාත්තා මිය යනව. නමුත් සිහිනය මිය යන්නේ නෑ. පවුලේ වැඩිමහල් දරුවා පෙරටු කරගෙන අනෙක් අය ඒ හීනය ඔස්සේ දිගටම යනව. අවසානයේ ඔවුන් එය සැබෑකර ගන්නව. 
එතකොට ඒ පවුලේ ළමයින්ට සහ අම්මට කියලා ආවෙනික වූ සිහින නැත්ද? ඒ අයත් ස්වායක්ත පුද්ගලියන් නොවෙයිද? නමුත් අර තාත්තාගේ සිහිනය මුල් කරගත් ඔවුන්, ඔවුන්ගේ පෞද්ගලික සිහින යටපත් කරගෙන එය වටා පෙලගස්වා ගත්තා. ඒක එක්තරා විදිහකට සිහින ආක්‍රමණයක් නැත්නම් සිහින යාමනයක්. තාත්තා තමයි සිහින නෞකාව පැදවූ නැවියා. බැරි වෙලාවත් තාත්තගේ සිහින තොටුපලට යන්න ළමයින්ට බැරි වුනොත්, ශක්තිය නැතිවුණත් මොකද වෙන්නේ. ඒ  ළමයින් ඇතුලු පවුල සිහින බිඳගත්, නැත්නම් එක සිහිනයක් ඇතුලත හිරවුනු ඉන් පිටතට පිනිය නෙහැකි සහින වහලුන් බවට පත්වෙනවා. 

Friday, November 3, 2023

බලාපොරොත්තු

මේ ලෝකේ අපිට අත්විදින්න ලැබෙන දේවල් ගොඩක් ඇත්තටම අපේ අවශ්‍යතාවයන් මත ගොඩනැගුණ  දේවල් ද? නැත්තනම් ඒවා කාගේ හරි උවමනාවකට ක්‍රියේට් කරලා අපි මක පටවපු දේවල්ද  කියලා මොහොතක් හිතලා බැලුවොත් ගොඩක් දෙවල් අපිට බලෙන් පයපු දේවල් බව වටහාගන්න ඒ තරම් අමාර නෑ.  

මට ගෙයක් දොරක් ඕන, ඒක මොන විදිහේ එකක් ද? මට වාහනයක් ඕන, ඒක මොන වර්ගයේ එකක් ද?. මීට අමතර මට ගැහැණියක් ඕන, එයා මොන වගේ කෙනෙක් ද? මට දරුවන් ඕන, උන් මොන විදිහෙ මිනිස්සු විය යුතුද?. මම අනුන් ඉදිරියේ පෙනී සිට්න්න ඕන මොන විදිහටද වගේ කෙලවරක් නැති ප්‍රශ්ණ ගොඩක් අපි මත අපිම පටවගෙන. ජීවත් වෙනවා කියල කියන්නේ අපි ඒවට විසදුම් හොයන එකද? 
ආයෙත් මුල ඉදලම හිතන්න ඕන මට අවශ්‍ය මොනව ද?

Saturday, January 28, 2017

අම්මා



මිනිස්සු බොහෝවිට රසවින්දනය කරන්නේ නැත්නම්, සංවේදී වන්නේ ඔහුගේම හෝ ඔහු පෙර අසා දැක ඇති ඔහු හෝ අය හඳුනන වෙනත් අයෙකුගේ අත්දැකීම් පිළිබඳ තමා තුල ඇති මතකය හාරා අවුස්සමින්. අතීතයේ එක් දිනෙක මා එවකට සේවයකල ආයතනයේ නිදිවර්ජිත වූත්, වෙහෙසකරවූත්, රාත්‍රී සේවා මුරය අවසන්කර හිමිදිරියේ නිවස බලා යාමට මහ මඟට බසිත්ම දුටු දසුන සමඟ මුසුව ආ මා හද සසලකල අතිසයින් භාව පූර්ණ අත්දැකීම ඔබ එක්ක බෙදාගන්න හිතුනා.
මේ ඒ, කාථාන්තරයයි. නිද්‍රාබරිත හිමිදිරියක්.., වෙහෙසකර රාත්‍රී සේවාමුරය අවසන් විමට නියමිතයි. නගරයේ පිහිටි උසින් වැඩිම ගොඩනැගිල්ලේ ඉහල මහලයක පිහිටි අපේ ප්‍රධාන පාලක මැදිරියේ විදුරු කවුලුවෙන් ගලන අළුයම් හිරුගේ රැස් මගේ නිදිමතදෑස තව තවත් වෙහෙසට පත්කරද්දී, නගරයේ බොහෝ දෙනෙකුට ප්‍රබෝධමත් උදෑසනක් උදාකරල. පහත පෙනෙන තෙක් මාන‍යේ වු බම්බලපිටිය මංසංන්ධිය කාර්යාල වෙත දුවන, බස්රථ වලට නගින්නට පොරකන, මඟීන් නිසා යුහුසුළුයි. මා හුන් කාර්යාලයේ මේසය මත තිබු දුරකථනය නාද වෙයි.. හලෝ.. කාර්යාල අසුනේ හරි බරි ගැසී හාන්සිවෙන අතරතුර මම ඊට ප්‍රතිචාර දැක්වූයෙමි. "කොහොමද ඊයේ රෑ. පොඩ්ඩක් හරි නිදාගන්න ලැබුනද?" දුරකතනයේ අනෙක් පසින් ඇසුනේ මගේ ප්‍රිය බිරිඳ ගේ කටහඩයි. " ඔයාට මහන්සිද ?" නැවතත් ඈ කරුණාබරිතව විමසුවාය" "හ්ම්ම්.... (සුසුමක්) වෙනසක් නෑ, වෙනද‍ා නයිට් ඩියුටිය වගේ තමයි. රෑ කඩ කෑම කාල නිදිමරල පොඩ්ඩක් බඩ දැවිල්ලයි වගේ." මා ඇය අස්වැසුවාය. "ආ... කවුද අද උදේ වැඩට එන්න ඉන්නේ මිලින්දද?, අමිලද?" මා තුල තිබූ නිදිමත වෙහෙස මඞින්නට මෙන් ඈ විමසුවාය.
"නෑ.... නවීන් තමයි ඩියුටි, මෙලහකටත් මඟ එනව ඇති." මගේ කෙටි පිළිතුරු විය. "හා... මම අර ඊයේ කිවුවේ., අපේ අම්මගෙ අසනීප ගතිය ටිකක් වැඩියි වගේ". "මට එයාව ටිකක් බලලා එන්න හිතුන". "මම ළමයි දෙන්නත් එක්ක උදෙන්ම කෑගල්ලට ගිහන් එන්නද?, ඔයාට දැන් ගෙදර ඇවිත් ආයෙ අනික්අතට කෑගල්‍ලේ යන එක වෙහෙසයිනේ ඒ හින්දා මම පොඩිදෙන්නත් එක්ක උදේන්ම ගිහින් රෑ වෙන්න කලින් එන්නම්." කාරුණික ස්වරයකින් ඈ ඇසුවාය. "අනේ මන්ද?"
"ඔයගොල්ලොන්ට ඒතරම් දුරක් තනියම යන්න පුළුවන්ද?" මම ඇසුවෙමි. "පුළුවන්"... " පොඩ්ඩව වඩාගෙන යන එක විතරයි අමාරු, ලොකු පුතාගෙන් දැන් ඒතරම් කරදරයක්නෑනේ." නැවත් ඈ ඇවිටිලි කලාය. "හා.. ඔයාට හොදයි කියල හිතෙන විදිහකට කරන්න." "හා... අපි එහෙනං ඉක්මනින් ගිහින් එන්නම්." ඇය ප්‍රතිචාර දැකිවූයේ ලද අවසරය ගැන ස්තූති වන්නාක් මෙනි "හා.. හොඳයි. එහෙනං ගිහින් එන්න" "මහත්තයා.... " "මහත්තයා.... හ්" ගැහැණියෙකගේ ආයාචනික ස්වරය මුසු හඩ ආ දෙසට මගේ දෑස නිතැතින්ම යොමුවුනි. ඒ බස්නැවතුම වෙත වැටුනු මාවතේ සුපිරි වෙළඳසැල්, අවන්හල්, සාප්පු සංකීර්ණ පසුකරමින් ඇවිද යන අතර කඩිමුඩියේ සේවයට යන මහජනතාව මැද නොඳරුවන් දෙනෙකු තම ඇකයේ හොවා වකුටු වී සිඟමන් යදින ගැහැණියකි. බහුතරයක්‍ දෙනා කාර්යාල සේවයට වාර්තා කීරීමේ අදිටනින් දිවයන අතර නගරය මධ්‍යයයේ වු සුපිරිම සාප්පු සංකීර්ණ වලින් එලියට බට කලබලයක් නැතිව හිමිදිරි පහස විදිමින් ඇවිදින කෙනෙක් දෙන්නෙක් කාසියක් ඇගේ කිලිටි කෝප්පය වෙත විසිකරයි. දරුවන්ට ඒ ගැන වගක් නැත. ඉරුණු වැරහැලි හැද මව් තුරුලේ හුන් ඔවුන් උදෑසන සීතලට අමනාපයෙන් ඇගේ ඇකයේ උනුහුමට තව තවත් ගුලි වෙති. එය ඔවුනට මහා සම්පතක් වැනි හැගිමක් ඔවුන් තුලින් දිස් විනි. මොහොතකට මගේ සිත ගල්ගැසිනි. එය අතිසයින් මා සිත මොහෙතකට සසල කල දසුනකි. මොවුන් නම් කවදා හොඳ කල දවසක් ලබත්ද? ඊ ලඟ මොහොතේ මට සිතුනි. ඇසිල්ලකින් ඔවුන්ගේ අදුරු දෙනෙත් තුලින් මගේ අඹු දරුවන්ගේ මුහුණු දුටිමි. ඔවුනද මොවුන්ද අතර ඇත්තේ ප්‍රාග්ධනය නැමති කෙස් ගසක පරතරයක්. මගේ දරුවන්ට මගේ බිරිඳ ලෝකයේ හොඳම මව වෙයි. මාවතේ සිඟන්නිය ඇගේ දරුවන්ට ලොවේ ඉන්නා හොඳම මවයි. මගේ බිරිඳට ඇගේ මව තරම් හොඳ මවක් තවත් නැත. මට මගේ අම්මා සංසාරේ පතාගෙන ආ උතුම්ම මවයි. තිරිසනුන්ටද එය එසේමයි. ඒ කියන්නේ කොයි මව වුවත් ඇය, ඇගේ දැරුවන්ට අති උත්තම චරිතයක්... මට සිතිනි. මිහි මඞළේ අඳුරු කුසේ, දිය උල්පත අම්මා... නන්දා මාලනියගේ ගීතය ඇසෙද්දී අදටත් මට ඒ මොහොත සිහිවේ

පිංතූර.
 Jade Beall

Sunday, December 25, 2016

තනිකමද ඔබ මිතුරෙකුය

                     මගේ මතකයේ හැටියට දෙදහස් හත (2007) අවුරුද්දේ සීතල දෙසැම්බර් මාසයේ එක්තරා දිනයකදී මා අපූරු භාව පූර්ණ  ගීතයක, ගීතමය අත්දැකිම ලැබුවා. එවකට මා සේවය කලේ ආසියානු ගුවන්විදුලි ජාලයේ. අපි කවුරුවත් නොහිතපු වෙලාවක, එක්තරා සිදුවීමක් නිසා මා සේවයකල ආයතනය හදිසියේ වසා දැමුන. කිසිම බරක් පතලක් නැති තනිකඩ ජීවිතයක් ගතකල මට රැකියාව අහිමිවීම ගැන මෙලෝ හසරක් නැතිවුනාට මා සමඟ සේවයකල බොහෝදෙනා හැඩූ කදුලින් යුතුව එදා ඒ ආයතනයෙන් සමුගත්ත.
                 
                         නමුත්, අපි
ඉංජිනේරු අංශය විදිහට ආයතනය වසාදැමීමෙන් අනතුරුවත්, වසරක්ම ගතවන තුරු සතියකට දින දෙකක්, එක් අයෙකු බැගින් දිවා-රාත්‍රී සේවා මුර දෙකක් ආයතනයේ රැදී සිටියා. සිය ගනනක් සේවයකල ආයතනයක තනිව කිසිම වැඩක් නැතිව රාත්‍රිය පහන්වනතුරු ගතකිරීම, මට ඉතාමත් කටුක අත්දැකීමක් වුනා. මීට මාස කිහිපයකට කලින් කොල්ලන්ගේ කෙල්ලන්ගේ කෙළි කවට සිනා වලින්, මුඛරි කතාවලින් සහ නොකඩවා වැයුනු ගීතවලින් පිරුණු  ශබ්දාගාර වල හා කාර්යබහුල කාර්යාල වල හාත්පස තිබුනේ කන් බිහිරි කරවන නිහඞතාවයක්. ආයතනය වසා දමල මාස ගනනක් ගතවුවත් ඇතැම් කාර්යාල අංශ ආයතනය වසාදමන අවස්ථාවේ තිබු ස්වභාවයෙන් එලෙසින්ම දක්නට ලැබුන. සමහර මේස මත අතරමඟදී නතර කොට එලෙසම තබාගොස් තිබු පිටපත් රචනා, නොනිමි පැබැදුම්, කෙට් සටහන් පොත් පෑන් පැන්සල් සහ පතුලේ මදක් ඉතිරිව වියලීගිය තේ කෝප්ප පවා දකින්න ලැබුන.  

එක්තරා දිනයක, මාගේ රාත්‍රී සේවාමුරයක (මම හිතන්නේ පාන්දර 2.00 විතර ඇති) කරන්නට කිසිම රාජකාරීයක් නොමැති නිසාත්, ඇහැ පියාගන්නට කොතෙකුත් උත්සාහ කලත් නින්ද අහලකටවත් නොපැමිණිනි නිසාත්, හුන් තැනින් නැඟිට නිශ්පාදන ශබ්දාගාරය(Production Studio) වෙත ගොස් එහි එක් පසෙක වූ සුවිසල් වීදුරු බිත්තියෙන් එපිට පෙනෙන කොළඹ නගරය නරඹන්න වුනා.
                   
                      කොටුව, ලෝක වෙළද මධ්‍යස්ථානයේ
35වෙනි මහලේ හිඳ පහල බැලූ කල මුළු කොළඹ නගරයත්, ගෝල් ‍ෆේස් පිටියත්, ඉන් ඔබ්බට තොරක් නැති මුහුදත් ලා සඳඑලියෙන් හොඳින් පෙනුන. ශබ්දාගාරයේ කොනක තිබු මේසය මත සී. ඩී. තැටි කිහිපයක් විසිරිලා තිබුන. ඉන් එකක කවරය සහිතවු බැවින් එය උඩින් පල්ලෙන් කියැවු මට, එය ඩබ්ලිවු. ඩී. අමරදේවයන්ගේ ගීත එකතුවක් වු නිසාවෙන්ම එහි වු ගී රසවිඳීමේ දැඩි දැඩි ආශාවක් ඇතිවුනා .  අසල වූ තැටි වාදන යන්ත්‍රයක එය රුවා වාදනය කර වීදුරු කවුළුව අසල වු පුටුවකට බරව ඉන් ඔබ්බෙන් වු ඉමක් තෙරක් නැති කොළඹ නගරය වෙත දෑස් රඳවා ගී අසන්නට වුනා.

                      එවකට, දැඩිව යුධ භීශණයෙන් වෙළුණු කොළඹ නගරයේ කිසිවෙකුත් නැති පාලු වීථි වල  කහ පැහැති වීථිලාම්පු වලින් ගලන ආලෝකය නිසා නගරය තවතවත් පාලුවෙහි ම ගිලෙයි. උදුවප් මාසයේ සිතල, අදුරු, අන් කාලවලට වඩා නිසොල්මන් මුහුද හදඑලියෙන් කැලතුනා. නගරයේ තැනින් තැන පාලු, උස්-මිටි ගොඩනැගිලි අදුරු සෙවනැලි අතර සැගවිලා. කල්පනා ලොවක නිමග්නව මේ දසුන් විදින අතරේ අහම්බෙන් වගේ සී. ඩී. තැටියෙ තිබුන ගීතයක් වාදනය වුනා. එය මා කළින් අසා ඇති ගීයක් වූ මුත් පෙර නොවිඳි රසයක් එහි ගැබ්වෙලා තිබුන.    එහි තිබුනෙ, උණුහුම් මවුබිමෙන් ගවු දහස් ගනනක් එතෙර හිම වරුසාවන් ඇදහැළෙන කටුක ශිතල දේශයක හුදෙකලාව වෙසෙන්නෙකු රාත්‍රියේ විඳින පාළුව, තනිකම සහ දුක් ගැහැට ගැන.
මට එදා ඒ පාළුව හොදින් දැනුන, රස වින්දා සමහරවිට ඔබටත් එහෙම දැනිල ඇති, අත්විඳල ඇති.

එදා ඉදන් මම කැමතිම ගීත ගොන්නට මේ ගීතයත් එක් වුනා.
ඔය ගොල්ලොත් හැමෝම මේක නැවත අහල බලන්න. තනිකමේ රසය තනිවම විදින්න කියල මම ආරාධනා කරනව.

ස්තූතියි...!


Friday, December 2, 2016

ප්‍රථම ප්‍රේමය



අහම්බෙන් මා ඉදිරියේ හිටගත්තු ඇය මොහොතකට මා අතීය වෙත රැගෙනගියා,
මට මෙහම හිතුනා..
එදා හමුවෙන්න දකින්න පෙරුම් පුරපු නමුත් වරක් දෙවරක් පමණක් හමුවෙලා හිතේ තිබුනු දේවල් කියාගන්න බැරිව ගෙලුවෙලා හිටිය, කිසිම බරක් පතලක් නැතිව ආදරයම විතරක් ආහාරය කරගෙන හිතින් ඇය එක්ක ජීවත් වුන කාලෙට ආයෙත් මොහොතකට යන්න
ඒත් කොහොමද?  
මට මගේ හෙවනැල්ල වගේ ලගින්ඉන්න ආදරණීය බිරිදක් සහ දරුවන් ඉන්නවා.
අපි හාත්පස අනියම් සම්භන්ධතා, අනාචාරයේ හැසිරීම් දකින්න, බලන්න ආසාකරන කුහක මිනිස්සු පිරිලා,
 

මොහතකට නැවතිලා අත් අල්ලාගෙන අතිතය ගැන කතාකරන්න,
අපි වෙන්වුනු දා පටන් සිද්දවෙච්ච දේවල් බෙදාහදාගන්න
හැගුම් වලට ඉඩදීල මොහොතක් නිහඬව ඉන්න.


Friday, November 11, 2016

අතීතය නොහාත් පැරණි දේ රත්තරන් නම්, අලුත් දේ පිත්තලද?




                         ටී.වී, රේඩියෝ වල පැරණි ටෙලි නාට්‍ය සහ ගීත නැවත විකාශය කිරිමේ නැඹුරුවක් මේ කාලයේ දුටුවෙමි. ඒ අල්ලපනල්ලේ  මමද රූපවාහිණියේ විකාශය වු අසවැසියෝ සහ කන්දේ ගෙදර ටෙලි නාට්‍ය දෙක ඉඩ ලැබුනු අයුරින් නරඹා රස වින්දෙමි. ඉන් මට බොහෝ දේ සිතුනි. ඒ, ඒ කාල වකවානු වලදී මා ගතකල මගේ අතීත ජීවිතය සහ ඒකාලයේ ටෙලි නාට්‍යය වල නිරූපිත සමාජ වටපිටාව හා මගේ කුඩා පවුල අතර තිබු පරතරය හා සම්භන්ධතාවයේ අතීත මතකය ගැන සහ අතිතය, මිනිසුන්ට මේතරම් මනබඳින්නා සුළු වන්නේ ඇයිද යනවගයි.

එදා ටෙලිවිශනයක් තිබුනේ ගමේ යමක් කමක් ඇති ගෙවල් කිහිපයක පමණි, ඒ තබා විදුලිය තිබුනේද ගමේ ගෙවල් අතලොස්සකය. ඒකාලයේ අපි මේ රූපපෙට්ටියේ අයස්කාන්ත සංකර දේවල් නැරඹුවේ අර කලින් කී, ටී.වී. ඇති ගෙවල් වලට බලෙන් රිංගා හෝ ජනේල වලින් එබිලාය. ඒ ගෙවල්වල අයද, එය ඔවුන්ට මහත් නම්බුවක් ලෙස සැලකුවා වගේ එකක් ඒ දිනවල තිබුනි.

එදා ඒ බොහෝ ටෙලිනාට්‍යයවල තිබු දේවල් අපට මාර හයි  පයි(ෆ)ය. ඒ කාලයේ අප විදී දුක්, අපේ ආර්ථික නොහැකියාවන්ගෙන් සඟවා තිබු හීන ටෙලිවිශනයේ මනස්කාන්ත දර්ශණ අත දියකර ටපත්කර ගතිමු. අපට ඒ කාලයේ ඒ විදිහට එක එක දේවල් පෙන්වු ටෙලිවිශනය අද ද ඒ කාර්යය එලෙසම ඉටුකලත්, එදා ඒ ටෙලිනාට්‍ය අද ටෙලිවිශනයේ නරඹන විට අපි අද දකින නිර්මාණ වලට වඩා සාරවත් බවක් සහ ඒ කාලයේ මිනිසුන් (චරිත) තුල තිබු සංයමයේ සහ හැදියවේ වෙනස හොඳින් දනවයි.

මේක අපට නැත්නම් අපේ රටට පමණක් ආවේනික දෙයක් දෙස දැක්විය නොහැක ඒ මක්නිසාද යත් Old is Gold කියා ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් තිබේ. ඉන් කියවෙන්නේ (මට තේරෙන විදිහට) පැරණි දේ රත්තරන් කියලාය. එහෙනම මේ පැරණි දේවල් රත්තරන් වන්නේ කෙසේද? එතකොට අලුත් දේවල් පිත්තලද?
මෙය මහා අවුලකි, එක්කෝ අපි එදා සිට අද දක්වා සංවර්ධනයේ නාමයෙන් ලබාගෙන ඇත්තේ පරිහානියකි, නැත්නම් අප සියලු දෙනා අතීතය මත නිරතුරුව ඇලී-ගැලී, වර්තමාණය අතීතය හා සසදා අද ලද දෙයින් නොසෑහී මානසික පීඩාවලින් යුතුව ජීවත්වන බවයි... 


Search This Blog